Wednesday, 17 February 2021

මහගමසේකරගේ අම්මා

 

මහගමසේකරගේ අම්මා


අම්මා පිළිබඳව ලියැවුණු පිලිබඳව ලියවුනු කවි, ගීත, නිසදස් අප්‍රමාණ වේ. නමුත් ඒ සියල්ල සුවිශේෂී ගණයට අයත් නොවෙයි. ඒ එම කවි ගීත වල අන්තර්ගතය නිසා නොවේ. සියලු නිර්මාණ වලින් කියවෙන්නේ අම්මා යන මාතෘකාව පිළිබඳව ය. ඇය ගේ ගුණ පිළිබඳව ය. නමුත් ඒ රස විඳින්නාගේ මගේ හදවතට දැනෙන්නට ,හදවත් සංවේදී කරමින් ඉදිරිපත් කිරීමට හැකි වන්නේ අතළොස්සකට පමණි. ඒ අතර මහගමසේකරයන් ද ඇතුලත් වෙයි. ඔහුගේ මාතෘකාව වන්නේ අම්මා. අම්මා යන වචනයට ඉදිරියෙන් ඔහු කිසිදු විශේෂණයක් එක් කර නැත. එසේ කිරීමෙන් අම්මා යන මාතෘකාවට කිමිදීමට අපහසු වේ යැයි ඔහුගේ කල්පනාව වන්නට ඇත. ආදර අම්මා ,මගේ අම්මා ආදි වශයෙන් එක් අන්තයකට කොටු නොවී පුළුල් මාතෘකාව පුරා සෙවීමේ අදහසින් ඔහු අම්මා යන මාතෘකාව යොදා ඇති බව සිතිය හැකිය .

අම්මා යන මාතෘකාව සුලභය. සුලබ මාතෘකාවක්වකට දුර්ලභ කවියක් ලියන්නේ නම් එය විශිෂ්ට ගණයේ කවියකි. ජිවිතයේ නැතිවම බැරි චරිතය, ජීවිතේ සංවේදීම අවස්ථාවඅම්මාගේ මරණයයි. මින්  කියවෙන්නේ අම්මා පිළිබඳ අතීත ස්මරණයක යෙදෙන පුත්‍රයකු පිලිබඳවය. කලකට පෙර මියගිය අම්මා පිළිබඳ මතකය සිතට නැඟුණු කථකයා අම්මාගේ සිරුර මිහිදන් කළ සොහොන් බිමට යයි. එය සොයා ගැනීමට ද අසීරු තරමට එහි උඩු පියවිය වැවී ඇත. උදුපියලිය වැවී ඇති මහපොළොවට දණ ගසා වඳින්නේ තම මව මේ යැයි සිතමිනි.

 ඔබා දෙදණ නිල් උඳුපියලිය මත -  වැන්දේය ඔහු බැති සිතින්

අම්මා වැළලූ තැන මහ පොළොවට

 මවගේ ආදරයට ,ගුණ ධර්ම වලට යොදන්නට නමක් නොමැත. එයට උපමා කරන්නට සම කරන්නට ද කිසිවක් මේ ලොව නැත.

 පිපිලා තිබුණි එතැන සුදු පාටට -නමක් නොමැති පුංචි මලක්

සිම්බේය එමල ඔහු නමා හිස

පොළොවට දණ ගසා වඳින ඔහු දකින්නේ  සුදු පැහැති නමක් නොදන්නා කුඩා මලකි. මේ සංක් සංඛේතයකි. සුදු පැහැය පාරිශුද්ධත්වයේ සංකේතයකි. එසේම කුඩා මලක් ලෙස සැලකෙන්නේ එහි සරල බවයි. නමක් නොදන්නා බව සඳහන් කොට ඇත්තේ මවගේ මේ පරතෙරක් නොමැති ආදර සාගරයට හා ගුණ සමුදායක යෙදීමට සුදුසු නමක් මෙලොව නොමැති බවයි. පාරිශුද්ධත්වය හා සරල බව කුඩා මලෙන් සංකේතවත් කොට ඇත. ඔහු ඒ මල ආදරයෙන් සිප ගන්නා බව මනසින් චිත්‍රයක් ගොඩනගා ගනියි.

 අම්මා යනු දරුවෙකු මෙලොවට බිහි කරන්නිය පමණක් නොවේ. දරුවා වදන තැනැත්තිය මෙන්ම හදන තැනැත්තිය ද අම්මා වේ. ඇය දරුවන් දායාද කරන්නේ ලෝකය වෙනුවෙනි. ලෝකයේ පැවැත්ම වෙනුවෙන් දරුවෙක් හැදීම ඒ මොහොතේ දී අත්වන දුකක් පමණක් වුවද දරුවෙක් යහපත් සමාජයකට දායාද කරන්නට අම්මා කෙළවරක් නැති දුක් විඳී.

 අඬන විටදී මා කුඩා අවදියෙහි බඩගිනි ව

 තම්බා බතල දළු ලුණු දියර ඉස

 පොල් හා මුසුකොට කවා

 බඩ්ගිනි නිවූ අම්මා ඔබය

 කථකයා තම කුඩා කල සිහිපත් කරයි දරුවන්ගේ බඩේ ගින්දර යනු අම්මාගේ හිතේ ගින්දරයි. නිවසේ ඇති අගහිඟකම් පිළිබඳවව දැනුම් තේරුම් නොමැත. බඩගිනි වූ විට ආහාර කිසිවක් කන්නට නිවසේ නොමැත. කඩාගන්නා බතල දලු තළු තම්බා ලුණු දියර හා පොල් මුසුකොට දී ඈ දරුවාගේ බඩගින්න නිඅන්නට උත්සාහ දරයි .

උයා උදයෙන් නැගිට  කඩජපන්

 තබා තේ කඩයෙහියෙහි

 ලබා ඉන් ලැබෙන සුළු වට්ටම

 ජංගි ඇන්දූ අම්මා ඔබය

සැමට කලින් ඇහැරෙන්නේ සැමට පසු නිදියන්නේ අම්මාය.කථකයාගේ මව උදෑසනම නැගිට ඉඳි ආප්ප සාදා විකුණ දරුවාට කෑමට යමක් අහල පහලින් සොයාගත්තද ඇඳුම් පැළඳුම් ගන්නට කාසි අවශ්‍යය.

 ජංගි ඇඳීම මගින් මෙහි දැක්වෙන්නේ තම දරුවා සමාජයේ ශිෂ්ට සම්පන්න අයෙකු බවට පත් කිරීමට උත්සාහ දරන බවයි. ඇගේ බලාපොරොත්තුව දරුවා ලොකු මිනිසෙකු නොව හොඳ මිනිසෙක් කිරීමටය. තමාට අත් කර ගත නොහැකි වූ ඥානය , සමාජ තත්වය කරා දරුවා රැගෙන යාම අභිලාෂයයි.

 ගල්වා හිසෙහි යහමින් තෙල්-   එල්ලා කරෙහි පංචායුදය

 අල්ලාගෙන අතින් මා- පාසල් එක්ක ගිය

  අකුරු නූගත් අම්මා ඔබ ය

 අම්මා අසළ නැතිවිට දරුවාගේ ආරක්ෂාවට පංචායුධයක් යොදා විශ්වාසය ඇති කෑ ගනී. නිවැරදි මග ඔස්සේ දරුවා රැගෙන මව පාසල වෙත ගමන් කර දරුවාට ඉගැන්වූයේ අකුරු පමණක් නොවේ. පරිසරය උපයෝගී කරගෙන නිර්මාණ වීමට පවා අලංකාර පැදුරු රටාවන් මවන අයුරුත් ඒ තුළින් ජීවිතය ගැටගසා ගන්නා ආකාරය පෙන්වා දෙමින් මේ ජීවිතය ද වියන ලද පැදුරට සමාන බව සංකේතවත් කරයි.

නොදත්තෙමි මම එකල -   අම්මේ ඔබේ වත කැටපතක් බව

 මෙකල මා සිත පිළිබිඹු කරන- ගිනි යට ගිය ඇස් කුහර තුළ

  නො දුටුවෙමි කිසි විටෙක සතුටකුත් නො දුටුවෙමි කිසි විටක දුකකුත්

 අම්මගේ මුහුණ බොහෝ දේ ලියැවී තිබුණු කැඩපත්ක් බව කථකයාට වැටහෙන්නේ දැන් ය. අම්මා දරුවන්ගේ අනාගතය ජීවිතය දකි. ඇගේ මුහුණේ සතුටක්ද දුකක්ද දක්නට නොමැත.ඇත්තේ මැදුම් පිළිවෙතයි.

මහගමසේකර නිදහස් කවියේ දෙවන පරම්පරාවට අයත් ය.  මෙය නිසදැස් ආකෘතියට අයත් වන අතර ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණ නිර්මාණයකි. උපමාරූපක කිසිවක් භාවිතා කර නොමැති අතර සංකේත භාවිතයෙන් කවි අලංකාර කොට ඇත. අනිත් කවීන් බැලුම් දෘෂ්ටි කෝණයට වඩා නිර්මාණාත්මකව ඇගේ උතුම් බව මින් මතු කර දක්වන්නට මහගමසේකර කවියා ගත් උත්සාහය සාර්ථක ය.

Monday, 15 February 2021

ලාංකික හදවතක් තුල පිපි සකුරා මල

 









 


 ලාංකික හදවතක් තුළ පිපි සකුරා මල

 

එදිරිවීර සරච්චන්ද්‍ර මහතා විසින් රචනා කරන ලද මළගිය ඇත්තෝ නවකතාවට වස්තු බීජය, ප්‍රස්තුතය වී ඇත්තේ ප්‍රේමයයි. ලෝක සාහිත්‍යයේ ඉතිහාසය දෙස බලන කල ප්‍රේමය තරම් නිර්මාණයන්ට වස්තු විෂයය වූ ප්‍රස්තුතයක් නැති තරම්ය. එසේ බිහි වූ දහස් ගණන් නිර්මාණ අතුරින් සහෘද හදවත් තුළ සදා නොමැකෙන ලෙස සුවඳ විහිද වූ නිර්මාණ ඇත්තේ ඉතාම සීමිත ගණනකි. සරත්චන්ද්‍රයන් සිය නවකතාව සඳහා වස්තු බීජය ලෙස තෝරාගෙන ඇත්තේද ප්‍රේමයයි. බහුතරයක් දෙනා ප්‍රේමය දෙසට ගමන් කළ මඟ නොගොස් සරච්චන්ද්‍රයන් ප්‍රේමය දෙස වෙනස් දෘෂ්ටිකෝණයක් හෙලීමට සමත් වී ඇත. සිනහව ද වරෙක කඳුළු ද වරෙක දුක ද වරෙක සැපද ,සුන්දරත්වයද අසුන්දරත්වය ද එක්වීමද ද වෙන්වීම ද ජය ද  පරාජය ද ගැලපීම් හා නොගැලපීම් අතුරින් ගමන් කරන්නා වූ අහිංසක ප්‍රේමයක් මළගිය ඇත්තෝ තුළින් විග්‍රහ කරයි.

 මෙම කෘතිය මෙතරම් දුරට සාර්ථක වීම පිණිස මෙහි නොරිකො හා දෙවොන්දරාසං අතර දෙපළගේ ප්‍රේමය තුළ තිබූ නොගැලපීම් මනා පිටු බලයක් ලබා දී ඇත. නිතර වෙනස් වන ජපන් කාලගුණ සේ මේ දෙපළගේ ද ප්‍රේමය ද වහා වෙනස් වෙයි. සුන්දරව ඉදිරියට ඇදෙන ප්‍රේමය එක්වරම මහා පෙරළියකට බඳුන් වෙයි.

“එදා නොරිකො කහපාට කිමෝනාවක් හැඳි සිටි බව මට මතකය.”

“ ඒ සුන්දර තරුණියක් යැයි එවෙලේ මට සිතුනේ නැත. නමුත් ඇගේ කිසියම් සීදේවී පෙනුමක් තිබුණු බව මට හැඟුනි.”

 

 තමාට නොදැනී හෝ ප්‍රේම කරන්නා තුළ කුමක් හෝ විශේෂත්වයක් දැකීම ස්වභාවික කාරණයකි. අන් අයට එය විශේෂත්වයක් නොවුණද තමාට යම් විශේෂත්වයක් යැයි හැඟෙයි.

“සාමාන්‍ය ජපන් ස්ත්‍රීන්ට නොමැති මෙම කේශ කල්‍යාණය ඇගෙ විශේෂ අංගයක් බව මට වැටහුණි. ඈ තම කුඩා දෑස් මා වෙත එන අවංක සිනහවක් පළ කළාය.”

 ඒ දෙවොන්දරා හා නොරිකෝ මේ ප්‍රේමයට මුලපුරන අවස්ථාවයි. කාලයත්  සමග දෙවොන්දරා සහ නොරිකො අතර දැඩි මිත්‍රත්වයක් හට ගනී. නමුත් එය සහෘදයාට වැටහුනත් මේ දෙදෙනාටම නොවැටහේ. නමුත් ප්‍රේමයේ යම් යම් ලක්ෂණ දෙදෙනා පහළ කරයි. සාමාන්‍ය ප්‍රේමවන්තයන් මෙන් දෙවොන්දරාසංගේ අරඹන්නේ නොරිකො බලාපොරොත්තුවෙනි.

“ මා උදේ නැගිට වැඩ කරන්නට පටන් ගන්නේ ඈ එන බලාපොරොත්තුවෙනි.”

ආදරය යන භෞතික වස්තුවක් නොවේ. ආදරය ස්පර්ශ කළ නොහැකිය. තම පෙම්වතිය වෙනත් අයකුට ඇඟෑලුම් නො කෑවද තවකෙකු සමග සුහදව කතාබස් කිරීම පෙම්වතෙකුට සියුම් වේදනාවක් ගෙන දෙයි. ප්‍රේමය තරම් සියුමැලි ද? නොරිකෝ ඔකතා සං සමඟ කෑමට යාම දෙවොන්දරාට ඉවසුම් නොදෙයි

 “ඔකතා සංට පොරොන්දු වුණා එයත් එක්ක කෑම කන්න යන්න.

 මගේ සිතෙහි හටගත් වේදනාව සඟවා ගන්නට කළ යුත්තේ ස්වභාවික සිද්ධියක් ලෙස මා සැලකිය යුතුය.”

ඔකතා සං අතර සහ නොරිකො අතර සම්බන්ධතාවයක් ඇත්නම් ඊට රුකුල් දිය යුතුය. දෙවොන්දරා සහ සිතයි. එසේ වුවද සැබෑවටම නොරිකෝ තමාට අවශ්‍ය ය.ඇයව  තවකකු රැගෙන යන තෙක් ඉවසා බලා සිටිය හැකිද? තමා සිතින් ප්‍රේම කරන ප්‍රේමවන්තියට සමීපවන පුරුෂයා පිළිබඳ ව පැහැදිලි ඊර්ෂ්‍යාවක් දෙවොන්දරා තුල හට ගනී.

“එදා සවස මා විඳි චිත්ත පීඩාව ඊර්ෂ්‍යාව වන්නට ඇතැයි මම සිතමි.  එහෙත් ඒ ඊර්ෂ්‍යාවක් දැයි මට සැකයක් ද සිතේ.”

 දෙවොන්දරා සං හා නොරිකො අතරඇති සම්බන්ධතාවය කුමක්දදැයි තවමත් දෙදෙනාටම වටහා ගැනීම්ට අපහසු වී ඇත.

 ප්‍රේමය අහිමි වූ විට පළමුව තමා තනිවම ලෙස හැඟේ. තමා වට කරගෙන සිය ගණනක් සිටිය ද තම පෙම්වතිය නොවූ කල ඒ කිසිවෙකුට හුදකලා බව නැති කළ නොහැකිය. ආදරේ වෙනස් වීම, ප්‍රේමය ප්‍රකාශ නොකිරීම උග්‍ර මානසික පීඩාවකි.

“මාව මරණයක මීට වැඩිය හොඳයි මාව මරන්නයි  මම ඈට කීවෙමි.”

  දැන් ඉස්සර වගේ නෙවෙයි. ඈ කීවා.

 ඈ මගේ අත් ගසා දැම්මාය.

  ඒ වචනවලින් මගේ මුළු සිරුරමම දැවී ගියේය.

 හැබෑවට එහෙමද? මට තේරුණා. ඇයි එහෙම නම් මට එන්නැයි කිව්වේ.”

 

  ප්‍රේමයේ දී ඇති වන සිත් රිවන සිත් රිදවීම් බොහොමයකට හේතුව එහි ඇති අධික බලාපොරොත්තුසහගත බවයි. ඒවා වැළැක්විය නොහැකිය.  නොරිකො හා දෙවෙන්දරා සං ප්‍රේමයේ ද එවැනි අවස්ථා බහුලය. දුරස් වෙයි, තමන්ම සිත් රිදවා ගනී, පීඩා විඳි, සමාව ගනී, නැවත යථා තත්වයට පත්වේ.

 

“එදා වෙච්ච දේට මට සමාවෙන්න  මම  මෝඩයෙක් වගේ හැසිරුණා.”

 


ප්‍රේම කරන හදවත් දෙකක් වෙන්ව යාම කෙතරම් සංවේදී ද? නොරිකො හා තෝකියෝ අතහැරදමා දෙවොන්දරා සං කියෝතෝවට යෑමට සූදානම් වන අවස්ථාවේ නොරිකො හැසිරෙන ආකාරය අතිශයින්ම සංවේදී වේ. ඔහුගේ සමු ගැනීම ඇයට දරාගත නොහැකිය.

 

   “යන්න එපා දෙවොන්දරා සං. ඈ මගේ මුහුණ දෙස දුක්බර බැල්මක් හෙලමින් කීවාය.

 මගේ සිරුර තුළ ගින්නක් හට ගෙන හිස දක්වා ඇවිලී ගෙන එන්නා සේ මට දැනිණි. මම එයින් මුළුමනින්ම දැවී ගියෙමි.”

 

 කියෝතෝවට පැමිණෙන දෙවොන්දරාසං මමෙකාවා නම් කාන්තාවකගේ ඇසුරට වැටෙන අතර ඇගේ ක්‍රියාකලාපයෙන් නොරිකෝගේ අගය තවත් වැඩි වේ.ප්‍රේමයට සීමා මායිම් නැතත් නොරිකෝ දෙවොන්දරා දෙපලගේ ප්‍රේමය දෙරටක සංස්කෘතික සීමා නැමැති බන්ධනයෙන් බැඳී ඇත.

 

Sunday, 7 February 2021

wedding Rag


WEDDING RAG සංස්කෘතිකයි එකඟයිද?

විරුද්ධයිද?

 

 

මුදලට කළ දේ අද සිට නොමිලේ

 අද සිට අතට නිවාඩු

ඇඳට වඩා පැදුර හොඳයි

 හෝව්...හෝව්..... කවුද යකෝ මේවා දාලා තියෙන්නෙ කියලා ආපස්සට ගිහින් බැලුවා නේද? ඇයි මේ මූණ ඇඹුල් කරමින් කියවනකොට ලැජ්ජයි නේ. කරේ පපුවේ බෝඩ් ගහගෙන ගම වටේ යනකොට ලැජ්ජ නැද්ද කියලා පොඩ්ඩක් ඔය හිතෙන් අහන ගමන් ටිකක් මේ ලියැවිල්ල කියවගෙන අදහසක් කියාගෙන යන්න.

              දුවේ නුඹ මගෙ ප්‍රාණයයි  -  සැබැ වෙන සුබ සිහිනයයි

              සෙනෙහසින් කුලගෙට පියනගන්නේ -  සනුහරේ අභිමානයයි

 කියමින් පූජා වට්ටියක පූජා කරන වස්තුවක් විදිහට ගෑනු දරුවෙක් තවත් කෙනකුගේ පවුලට බාර දෙන්න ඒ වස්තුව රැකපු විදිහටම ඒ පවුලක් රකී කියන විශ්වාසය ඇතිව. ගෞරවය විශ්වාසය රැකගෙන පරිස්සම් කරපු දියණිය ඒ වගේම ගෞරවයකින් භාරගන්න එක අනිත් පාර්ශවයේ වගකීම.

විවාහ මංගල්‍යක් කියන්නේ පරම්පරා දෙකක එකතුවක්. ජාති කුල පන්ති පරම්පරාව හොයල බලලා පරම්පරාවට හරි  කෙනෙක්ම තෝරලා ලක්ෂ ගණන් වියදම් කරල කරන අලුත්ම ට්‍රෙන්ඩ් එකක් කිව්වොත් මං නිවැරදි. හැබැයි ඔය සේරම හොයලා බලල ඒ පිරිමියාගේ පසුබිම කොහොම එකක්ද කියන එක හොයන්නෙ නැත්තන් ලොකු වැරැද්දක්. ලක්ෂ ගණන් වියදම් කරලා මඟුල් ගන්නෙ අද. එහෙම නොකර බැරි තත්ත්වයක ඉන්න අපි එකෙන් මිදෙන්නෙ නැත්තෙ ඇයි?

 හේතුව මනාලයාගේ පාර්ශවයට කෙසේ වෙතත් මනාලියගේ පාර්ශවයට අහන්න වෙන කතා බොහොමයි. ජයට මගුලක් නොගෙන සරලව මගුලක් ගත්තොත් ගමේ ගොඩේ ,අහල පහල, නෑදෑයෝ වගේ අය මනමාලිගේ ඇද හොයන්න බලාගෙන ඉන්නෙ. මෙන්න මේ හේතුව නිසා උන්දැලගෙ ඇරිලා තියෙන සමහර විවර වැහෙන්නම කෙල්ලගේ දෙමව්පියන් පුලුවන් තරම් හොඳට මංගල්‍යය කරලා දෙනවා.

ඒ තරම් ලොකුවට උත්සවේ අරගෙන පහුවදාට මනමාලිට හා මනමාලයාට අත්වෙන ඉරණම ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නෙ.

අද අපිට දකින්නට ලැබෙන විවාහ උත්සවවල wedding රැග් කියන දේ සුලබයි. මේවාගෙන් ඇතැම් ඒවා සුන්දර වන අතර මනාල යුවළට හෝ අනික් අයට කිසිම අපහසුතාවයකින් තොරව අවසන් වෙනවා. සුන්දර මතකයන් එක්ක නමුත් ඇතැම් ඒවා පුදුම තරම් අශෝබන හා අනික් අයත් අපහසුතාවයට පත් වෙන ඒවා.

 බොහෝ විට මේවා සිදුවන්නේ මනාලයාගේ පාර්ශවය අසල්වැසියන් නෑදෑයින් හෝ මිතුරු වෙස් ගත් අමුතු ජීවීන් විසින්. නව යුවල මනාලයාගේ නිවෙසට යන අවස්ථාවේ මේවා දැකගත හැකියි.

මුදලට කළ දේ අද සිට නොමිලේ

 අද සිට අතට නිවාඩු

ඇඳට වඩා පැදුර හොඳයි

 

 මේවා කියවනවිට ඇහෙනවිට අමුතු ලැජ්ජාවක් හිත ඇතුලෙන් දැනෙනවානම් මොන විකාරද මේ වගේ අදහසක් හිතෙනවා නම් සතුටුයි ඔබ තවමත් ලැජ්ජාවක් ඇති ගෞරවනීය පුද්ගලයෙක්. සමාජය ඉදිරියේ ලැජ්ජාවට පත්වීම රැග් එකක්නේ සිතන පුද්ගලයකුට වෙනත් තැනක තමා හෝ බිරිඳ ලැජ්ජාවට පත් වීම අරුමයක් නොවේ.

 සමාජ මාධ්‍ය තුළ මෙවැනි වීඩියෝ දර්ශන සංසරණය වෙනවා අනන්තවත් දැක ඇත. කොළඅතු , පොල් කටු එල්ලා විසි එක්වන සියවසේ දී ගෝත්‍රික සම්ප්‍රදායම අනුගමනය කරන්නේ ඇයි දැයි මට තවමත් නො වැටහෙන කරුණක්.

තමා හෝ බිරිඳ අප අපහසුතාවයට පත්වෙන ඕනෑම දෙයකින් ඉවත්වීමට හා ඊට විරුද්ධ වීමට දෙදෙනාටම හැකියාවක් තිබිය යුතුයි. සමාජය ඉදිරියේ විහිළුවක් නොවීමට දෙදෙනාටම අයිතිය ඇත. එවැනි දේට නිහඬව සිටියේ නම් ඇතැම් අවස්ථාවලදී පවුල් තුළ හිත් අමනාපකම් පවා ඇතිවීමට ඉඩ ඇත.එයට හේතුව මෙවැනි දේ දියණීයන් ඉන්නා දෙමව්පියන් අනුමත් නොකිරීමයි. එමෙන්ම රැකියා ස්ථානයේ මිතුරන් අතර අපහසුතාවයට පත්වෙන අවස්ථා ද ඕනෑ තරම් තිබිය හැකිය. පුද්ගලයකුගේ සමාජ තත්ත්වය, රැකියාව ආදී කරුණුවලට මෙන්ම පුද්ගලයකුගේ පෞරුෂය කෙරෙහි සෘජුවම බලපානු ලබයි.

සැමියාගෙ නිවසට පය තැබීමට පෙර මහ මගදීම ලැජ්ජාවට පත් වී අනික් අයගේ සිනහවට ලක් වී පැමිණෙන දියණීය මල් පිරුනු වතුර වීදුරුවක් පොවා ශ්‍රියා කාන්තාව ලෙස ගෙට ගන්නා චාරිත්‍රයක් කුමටද?

එවැන්නක් අවශ්‍යම නම් එය කල යුතු පිලිවෙලට, අනෙක් අය අපහසුතාවයට පත් නොවන ලෙස කල යුතුය. මනාල යුවල පෙර දින රාත්‍රියේ රති කෙලියේ යෙදුනු ඒවා බෝඩ් කෑලිවල ලියා එල්ලා , ට්‍රැක්ටර් හෝ වෙනත් ඒවායෙහි ඇඳන් මත හිඳගස්වා අනික් අය සතුටු වීම රැග් නොවේ. එය මානසික අසහනයයි.

 මස්තකාරූඪ වී තැලිපිලි පලන්දා ජීවිත කාලෙම බිරිඳගේ නම්බුව රකින්නට පොරොන්දු වූ මිනිසෙකුට පැය විසි හතරක් යාමටත් පෙර යහළුවන්ගේ නෑදෑයන්ගේ අසහනකාරී රැග් වලින් බේරෙන්න බැරිව තමන්ගේ බිරිඳ මුළු ගමක් ඉදිරියේ විහිලුවක් වීමේදි කට වසාගෙන සිටින සැමියා විශ්වාස කර ජීවිත කාලෙම පවුල් කනවාට වඩා නැවත දෙමව්පියන්ට ගිහින් ජීවත් වීම සැපතකි.

 

මා ජීවත්වන ප්‍රදේශයේ මෙවැනි අනවශ්‍ය රැග් හෝ එවන් අපහසුතාවට පත් කරන අවස්ථා දැකීමට පවා නොමැති වීමත් පවුලේ කිසිවෙක් මෙවැනි දේට සම්බන්ධ නොවීමත් අතිශය සතුටට කරුණකි.  එසේම එවැනි රැග් හෝ අනවශ්‍ය දේට විරුද්ධ වීම ඔබ අනිවාර්‍යෙන් ක්ළ යුතු වන්නෙ ඒ සියල්ලට වඩා ඔබගේ ගෞරවය වටින බැවිනි.

 

ඔබගේ අදහස ?


Tuesday, 2 February 2021

දිරා ඇත



 සියල්ල කෙදිනක හෝ 
 අත්හැර යා යුතුය
 දිරාපත් වීමත්
 අනිත්‍යත් වටහා ගත්තෝ 
 සැමට පෙර 
 නිවන් මඟට 
 දොරටු විවර  කර ගනිති. 

වැහිබර අඳුරු අහස , දිරාපත් වූ ගස සංකේතකොට ගෙන   ජීවිතයේ අනිත්‍ය පසක් කරලූ සේයාවක්

 සේයාව :  2020 නොවැම්බර් මස 22 අපවත්වී වදාල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පුජෝත්සවය දින ආදාහන භූමියේදී මගේ කැමරා කාචයට හසු කර ගත්තකි.


Saturday, 23 January 2021

කොරෝනා දෙවියන්ට බාර කරමු!

 

කොරෝනා දෙවියන්ට බාර කරමු!

                    


 

 හඳුනා නොගත් රෝගයක් අලුතින්ම ලෝකය ආක්‍රමණය කළේ පසුගිය 2019 අවසාන භාගයේ දීය. චීනය තිඹිරිගෙය වූ මෙම ප්‍රභේදයට ඔවුන් නම් තැබුවේ covid-19 ලෙසය. වසරක් ඉක්ම ගියද තවමත් ඒ සඳහා සියයට සියයක් සාර්ථක වූ ඖෂධයක් සොයාගෙන නැත. ඒ ලෝකයේ තත්ත්වයයි.

ලංකාව වැනි රටක් මෙවැනි අවස්ථාවකට මුහුණදීමේදී අති විශාල ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවේ. ඖෂධයක් ලංකාවේම නිෂ්පාදනය කිරීමට නම් තරම් වත්පොහොසත්කමක් ශ්‍රී ලංකාව සතුව නොමැත. එබැවින් වෙනත් රටක් ඖෂධයක් සොයාගෙන අප බේරාගන්නා තුරු නෙත් හා මුඛ අයා  බලා සිටීම ලංකාවේ සාමාන්‍යකරණය වූ තත්ත්වයක් බව අප හොඳින්ම දන්නා කරුණකි. මෙම රෝගය සම්ප්‍රේෂණය වන රෝගයක් වන බැවින් එක් අයකුට හෝ වැළඳුන හොත් ඔහූ හෝ ඇය අනිවාර්යෙන්ම නිරෝගී පුද්ගලයන්ගෙන් ඈත් කොට තැබිය යුතුය. එය රෝගය ලක්වූ පුද්ගලයාට මෙන්ම නිරෝගී පුද්ගලයා රෝගයට ගොදුරු වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ නිර්දේශ කරන්නේ නිරෝධායනය වීමයි .

මොක්ද ද මේ නිරෝධායනය?

මුලදී මිනිසුන්  නිරෝධායන ක්‍රියාවලිය සැලකූවේ අපරාධයකට හසු වීමක් ලෙසය. මීට පෙර කිසි දිනක අසා නොතිබූ වචනයක් කියමින් අමුතු ඇඳුම් ඇඳගත් සෞඛ්‍ය සේවකයින් ඔවුන් වෙන් කොට තැබීම සඳහා රැගෙන යාම මහා අපරාධයක් සේ ඔවුන්ට දැනෙන්නට ඇත. දින 14 ක හෝ 21ක් නිරෝදායනය කාලසීමාවට විය යුතු අතර රෝගියා හෝ රෝගියාගේ ආශ්‍රිතයන් අනිත් අයගෙන් වෙන් වී තනිව සිටිය යුතුය. සෑම කාර්යයක්ම අනෙකාගෙන් වෙන්ව ඉටු කරගත යුතුය. සෞඛ්‍යමත් ආහාර රටාවක් අනුගමනය කළ යුතුය. රෝගය සුව වීමෙන් අනතුරුව නැවතත් සුපිරි පරිදි සාමාන්‍ය ලෙස තමාගේ කටයුතු කරගෙන යා හැකි වේ.

සැබැවින්ම මෙම ක්‍රියාවලිය ලංකාවේ අපට ආගන්තුකද?

 දෙවියන්ගේ ලෙඩ, පැපොල එසේත් නැතිනම් කම්මුල්ගාය නිවසේ එක් අයකුට හෝ වැළඳුනු විට අපගේ නිවෙන මුලින්ම සිදු කරන්නේ ඔහු හෝ ඇය අනිත් අයගෙන් වෙන් කොට තැබීමයි.

ඒ ඇයි?

 නිවසේ අනෙක් සාමාජිකයන් හා පිටස්තර පුද්ගලයින්ට රෝග වැළඳීමේ අවදානම නිසා එසේ කරනු ලබයි. කාමරයකට දමා වෙන් කොට එයට වෙනත් අය ඇතුළු වීම තහනම් වන අතර රෝගියාට පිටතට පැමිණීමද තහනම් ය. විශබීජ විනාශ වීමට කොහොඹ අතු හා කොළ රෝගීයාගේ කාමරයේ හා යහන මත අතුරනු ලැබේ. නිවසේ ප්‍රධාන දොරේ කොහොඹ අත්තක් එල්ලනු ලබන්නේ නිවස තුළ බෝවන රෝගයකින් හෝ එසේත් නැතිනම් දෙවියන්ගෙන් ලෙඩක් වැළදුණු අයකු සිටින බව පිටස්තර අයකුට දැන්වීමටය. එවිට පිටස්තර අයකු එම නිවස තුලටළට ඇතුළු නොවේ.මේ ආකාරයට රෝගී වූ පුද්ගලයා දින හතක කාලයක් සම්පූර්ණයෙන්ම අනික් අයගෙන් වෙන් වී සිටින අතර තවත් දින හතක් නිවසෙන් පිට නොගොස් කහ හා කොහොඹ මිශ්‍ර ජලය ස්නානය කර පිරිසිදු වී සිටියි. දින දාහතර අවසානයේ ඔහු සම්පූර්ණ සුවය ලැබූ පසු සාමාන්‍ය ජීවිතය ගෙවයි.

 ඉතින් මෙය නිරෝධායනයම නොවේද ?

corona හා දෙවියන්ගේ ලෙඩ වැලඳුණු අයකුගේ මෙම ක්‍රියාවලිය නාමයෙන් දෙකක් ලෙස සැලකූවත් මේ එකක් නොවෙයිද? නමුත් මිනිසුන් දෙවියන්ගෙන් ලෙඩ තරම් කොරෝනා අවධානය නොගන්නේ මන්ද? හේතුව corona වලට දෙවියෙක් සම්බන්ධ නොවීමයි. දෙවියන්ට බියෙන් , දෙවියන්ට ඇති භක්තිය හේතුවෙන් ඔවුන් අකුරටම එම අවස්ථාවේ සියලුම දේ වගකීමෙන් යුතුව ඉටු කරයි. ඒ කඩ කළහොත් දෙවියන්ගෙන් දඬුවම් විඳීමට ඇති බය හේතුකොටගෙනය.

නමුත් කොරෝනා නිරෝධායන සමය මිනිසුන් අවධානයට නොගන්නේ එය කඩ කළහොත් දඬුවම් දෙන්නට දෙවියෙක් එන්නේ නැති බැවිනි. දඬුවම් දෙන එකම දෙවියන් නීතියේ දෙවඟන පමණි. නමුත් මිනිසුන් නීතියේ දෙවඟනට වඩා ආගමික විශ්වාසය හා බැඳුණු දෙවියාට බියක් දක්වයි. නීතියෙන් එපා යැයි කියූ දෙයක් බිය නොමැතිව කලත් ඔවුන් දෙවියන් තහනම් කළ දෙයක් කිසි විටෙකත් නොකරයි. ලංකාව වැනි ආසියාතික සාම්ප්‍රදායික මත  තවමත් දැඩිව විශ්වාස කරන මිනිසුන් ඉන්නා රටක මෙය සාමාන්‍ය තත්වයකි. හදිසියේවත් කොරෝනා රෝගය දෙවියන් විසින් මවන ලද දෙවියන්ගේ රෝගයක් ලෙස සමාජගත වූවානම් මෙය ලංකාව තුල නම් මෙතරම් ව්‍යාප්ත නොවනු ඇති බව ඒකාන්තය.

 වර්තමානයේ මෙය පාලනය කර නොහැකි තත්වය හමුවේ මෙය දෙවියන්ගෙන් ලෙඩක් යැයි සිතීමද වැරදි නැතැයි මට සිතේ. එසේ වූවානම් නිරෝධායනය කර තිබියදී කිසිවෙක් නිවසට බැහැර නොයනු ඇත. පිටස්තර පුද්ගලයින් සමග අනවශ්‍ය සබඳතා නොපත්වනවා ඇත. දෙවියන්ට බියෙන් හෝ ඔවුන් කිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරනු ඇත. මිථ්‍යාවක් වේවා හෝ නොවේවා කොරෝනා දෙවියන්ට බාර කිරීමෙන්වත් මිනිසුන් තුළ හික්මීම හා රෝගයෙන් ආරක්ෂා වීමේ අවශ්‍යතාවය ඇතිවේ නම් එය කොරෝනාවෙන් ආරක්ෂ වීමට හැකි හොඳම ක්‍රමයම විය හැකිය.

Tuesday, 13 October 2020

ගමෙන් නගරයට ද? නගරයෙන් ගමට ද?

 

      

         ගමෙන් නගරයට ද?         

         නගරයෙන් ගමට ද?

 

ගීතය යනු සාහිත්‍යයේත් සංගීතයේත් සුසං‍යෝගයකි.ගීතය අපූරු කලා නිර්මාණයක් වන අතරම එය බොහෝ දෙනාගේ ආත්මයන් අවදි කරයි.මතකයන් අවදි කරයි.අත්දැකීම් සංසන්දනය කරවයි.තමාට ආදේශ කර ගන්වයි. ගීතයකට පුද්ගලයෙකුගේ මනස වසර 40 50කට එහාට පවා ගෙන යා හැකිය.පද රචකයෙකු විසින් නිර්මාණය කරන පද පෙළකට මධුර අරුතකින් යුත් තනු නිර්මාණය කරන්නේ සංගීඥයා විසිනි.අර්ථ රසය ශබ්ධ රසය යන ද්විත්වයම එක සේ මුසු වූ විට හා ඊට උචිත හඬක් එක්වීම එහි රසය ගැඹුරින්ම විඳීමට අසන්නට අවස්ථාව හිමි වේ.

බොහෝවිට ප්‍රේමය පිළීබඳ ලියැවෙන ගීත ප්‍රේමයේ සුන්දරත්වය, විවාහයට අවසර ලැබීම , විවාහය, ආදී ඒවා සම්බන්ධ වේ. නමුත් ප්‍රේමය තුළ ඇති ගැටලුවක් පිළිබඳ දෙදෙනා අතර ඇතිවන පරස්පරතා පිළිබඳ ලියැවුනු ගීත අපගේ ගීත සාහිත්‍යයේ දැකීම තරමක් අපහසුය.ප්‍රේමය යන සුලභ මාතෘකාවට දුලබ ගීතයක් ලියවී ඇත්නම් එය විශිෂ්ඨය.

බොහෝ රචකයින් නොදකින පැතිකඩක් දුටු බන්දුල  නානයක්කාරවසම් “සඳපානක් සේ ඇවිදින්” ගීතය රචනා කර එය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙනුත් අතුල සමිතා සුසං‍යෝගයෙනුත් හැඩ කළේය. අතුල සමිතා මුල් වරට ගැයූ යුග ගීතය මෙයයි.ඒ 1996 දීය.මෙම ගීතය අතීතයටත් වර්තමානයටත් අනාගතයටත් යන තුන් කාලයටම කැප ගීතයක් යැයි සැලකීම වරදක් නොවන්නේ එය වර්තමානයේ ජීවත් වන මටද අතිශය සමීප ගීතයක් වන බැවිනි.

යුග ගීයක් වන මෙම ගීතයේ සුවිශේෂීත්වය වන්නේ එය සංවාදාත්මක ස්වරූපයක් ගැනීමයි.ගීතයේ කතා නායකයින් දෙදෙනා පෙම්වතුන්‍ ය.ඔවුන් දෙදෙනාම දැනට නගරයේ ජීවත් වන නමුත් තරුණිය ගමක සිට නගරයට පැමිණී අයෙකි. දැන් ඇයට නැවතත් තම ගම රට බලා යාමට කාලය උදා වී ඇත.නමුත් දෙදෙනාගේ ප්‍රේමයට ගම නගරය හරස් වී ඇත. මොවුන් දෙදෙනා සරසවි සිසුන් ලෙසද සිතිය හැකි යැයි මට සිතේ. වසර හතර අවසාන වන මොහොතේ ඔවුන්ට මේ ගැටලුව මතු වනවා විය හැකිය.

                               සඳපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට

                                ගංඟාවක් තරමට සිසිලස බෙදුවයි නුඹ මා හට        

සංවාදය ආරම්භ කරන්නේ තරුණයාය. නගරයට නොපෙනෙන සුන්දර සඳ පානක් ලෙස මේ ගැමි තරුණිය තරුණයාට පෙනෙයි.නගරයට නොදැනෙන ගංගාවේ සිසිලස ලෙස ගෙන එන්නේද ඇයයි.නගරයේ කඨෝර ශබ්ද, අවිවේකිබව , නොසන්සුන්කම නැති කර දමා ඔහුගේ සිතත් කයත් ප්‍රබෝධමත් කරන්නට තරුණිය සමත් වී ඇත.

                            නෙත් දාහක් පසුකර විත් මට හිමි දෙනුවන දුටු විට

                           සඳපානක් වූයේ නුඹ නොවෙදෝ මගේ සිත් අහසට

ගම්මානයේදීත් නගරයේදීත්තරුණියගේ අත ඉල්ලන නෙත් බොහෝය.ඒ නෙත් අතරින් ඇයට හිමි දෙනෙත හමු වන තුරුම ඇය තනිව උන්නාය.තමා සතු නෙත් යුවල ඉතා දුශ්කර ගමනකින් පසුව හමුවීම මෙතෙක් කල් අඳුරු වී තිබුණු ඇගේ අහසක් වැනි පරතෙරක් නැති  සිතට ආලෝකයක් ගෙන ආ සඳපාන නුඹ නොවේදැයි තරුණයාගෙන් විමසයි.

 

                    දූවිලි හුළඟින් පිරුණත් ඉපදුනු නගරේ - මට නුපුරුදු ගමට එන්න බෑ

                                           මේ නගරය අත් හරින්න බෑ

ඔවුන් හමුවීමේ ප්‍රීතිය ප්‍රකාශ කර ගැටලුවට ප්‍රවිශ්ඨ වන්නේ දෙවන කොටසේදීය.

තමා උපන් , හැදී වැඩුන ,හුරු වුණු තමා ගොඩනගා ගත් සියල්ලත් සමඟ මේ නාගරික පරිසරය මා කෙසේ අතාරින්නද? ගමට විත් මා ඊට කෙසේ සූදානම් වන්නද? වැනි පැනයක් තරුණයාගේ සිතේ මතු වෙයි. දූවිල්ලෙන් පිරී ගියත් ගිනියම් සුළඟ හමා ගියත් හුරු පුරුදු පරිසරය අත් හැරීමට ඔහු සූදානම් නැත.එක හෙලාම පවසන්නෙ නගරය අත් හැරීමට නොහැකි බවයි.හිතුවක්කාරී ගති ඇති තරුණයෙකු බවද අපට සැලකිය හැකිය.

                    මගෙ උරුමය රැඳුනෙන් මා ලද ගම් පියසේ - මේ නගරයේ කූඩු වෙන්න බෑ

                                             ගම්මානය අත් හරින්න බෑ

දෙමාපිය සෙවණේ හැදී වැඩුන ඇයට ඔවුන් , පවුලේ අය දමා නගරයේ නැවතීම සිදු කල නොහැකිය.ඇයට උරුම ගම්මානයයි.කූඩු කල කිරිල්ලියක් මෙන් නගරයේ සිටිය නොහැකිය. තරුණයා සේම ඇයද දැඩි තීරණයක එල්බ සිටින අතර ගමෙන් පිට වීමට නොහැකි බව තරයේම පවසයි.

 

 

                                   අප දෙදෙනා මුණ ගැස්වූ මේ මහ නගරේ

                                           අතැර නුඹට ගමට යන්න බෑ

ඔවුන් මුණ ගැස්වූයේ මේ නගරයයි. එදා සිට මේ දක්වා ඔවුන්ගේ මතක ඇත්තේ නගරය සබැඳිවය.මේ නගරය අත් හැර ඔබ කෙසේද ගමට යන්නේ? ඔහු ප්‍රශ්න කරයි.මතුපිටින් එවැන්නක් අසන බව පෙනුනද සැබැවින්ම ඔහු පවසන්නේ නගරය අතහැර ඇයට යා නොහැකි බව නොවේ.ඔහු දමා යා නොහැකි බවයි.

             මගේ සිතින් ඔබ සිතනා මතු යම් දවසේ - මේ නගරය පාළු වෙන්නෙ නෑ

                                     මං තනියෙන් ගමට යන්නෙ නෑ.

තරුණීය තවමත් ඇත්තේ ඇගේ මතයේය. ඇය සිතන ආකාරයටම තරුණයාත් සිතන දිනයක ඇය සමඟ ඔහු ගමට යාමට කැමති වේ යැයි ඇය සිතයි.එදිනට ඔවුන් මුණ ගැසුණු නගරයේ මතක ඇහැරවමින් මනසින් ඔවුන්ට නගරයේ ජීවත් විය හැකිය. ඇය නැවතත් දැඩිවම පවසන්නේ ඔහුත් සමඟ මිස තනිවම ගමට නොයන බවයි.

                      තර්ක කරමින් හේතු පෙන්වා දෙමින් දෙදෙනාම උත්සහ කරන්නේ තමා කැමති ප්‍රදේශයේ තම සහකරු රඳවා ගැනීමටය.නමුත් දෙදෙනාගෙම ඇති මුරන්ඩු හා හිතුවක්කාරී බව නිසා තවමත් තීරණයකට පැමිණ නැත. දෙදෙනාම කොයි මොහොතේ හෝ අනෙකාගේ තීරණය වෙනස් කරන තුරු බලා සිටියි. බොහෝ දෙනාගේ අවධානයට ලක් නොවන ප්‍රේමයක ඇති මෙවැනි ගැටලුකාරී අවස්ථා අප අතර ඕනෑ තරම් ඇත. එවැනි අවස්ථාවකට මුහුණ දෙන තුරු මෙවැනි ගීත බොහෝ දෙනාට සාමාන්‍ය ගීත පමණී.

                         ඉතින් ඇය නගරයේ රැඳුනාද? ඔහු ගමට ගියාද?

 

 

 

 

                  

 

 

 

 

 

මහගමසේකරගේ අම්මා

  මහගමසේකරගේ අම්මා අම්මා පිළිබඳව ලියැවුණු පිලිබඳව ලියවුනු කවි, ගීත, නිසදස් අප්‍රමාණ වේ. නමුත් ඒ සියල්ල සුවිශේෂී ගණයට අයත් නොවෙයි. ඒ එම කවි ග...