Tuesday, 13 October 2020

ගමෙන් නගරයට ද? නගරයෙන් ගමට ද?

 

      

         ගමෙන් නගරයට ද?         

         නගරයෙන් ගමට ද?

 

ගීතය යනු සාහිත්‍යයේත් සංගීතයේත් සුසං‍යෝගයකි.ගීතය අපූරු කලා නිර්මාණයක් වන අතරම එය බොහෝ දෙනාගේ ආත්මයන් අවදි කරයි.මතකයන් අවදි කරයි.අත්දැකීම් සංසන්දනය කරවයි.තමාට ආදේශ කර ගන්වයි. ගීතයකට පුද්ගලයෙකුගේ මනස වසර 40 50කට එහාට පවා ගෙන යා හැකිය.පද රචකයෙකු විසින් නිර්මාණය කරන පද පෙළකට මධුර අරුතකින් යුත් තනු නිර්මාණය කරන්නේ සංගීඥයා විසිනි.අර්ථ රසය ශබ්ධ රසය යන ද්විත්වයම එක සේ මුසු වූ විට හා ඊට උචිත හඬක් එක්වීම එහි රසය ගැඹුරින්ම විඳීමට අසන්නට අවස්ථාව හිමි වේ.

බොහෝවිට ප්‍රේමය පිළීබඳ ලියැවෙන ගීත ප්‍රේමයේ සුන්දරත්වය, විවාහයට අවසර ලැබීම , විවාහය, ආදී ඒවා සම්බන්ධ වේ. නමුත් ප්‍රේමය තුළ ඇති ගැටලුවක් පිළිබඳ දෙදෙනා අතර ඇතිවන පරස්පරතා පිළිබඳ ලියැවුනු ගීත අපගේ ගීත සාහිත්‍යයේ දැකීම තරමක් අපහසුය.ප්‍රේමය යන සුලභ මාතෘකාවට දුලබ ගීතයක් ලියවී ඇත්නම් එය විශිෂ්ඨය.

බොහෝ රචකයින් නොදකින පැතිකඩක් දුටු බන්දුල  නානයක්කාරවසම් “සඳපානක් සේ ඇවිදින්” ගීතය රචනා කර එය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙනුත් අතුල සමිතා සුසං‍යෝගයෙනුත් හැඩ කළේය. අතුල සමිතා මුල් වරට ගැයූ යුග ගීතය මෙයයි.ඒ 1996 දීය.මෙම ගීතය අතීතයටත් වර්තමානයටත් අනාගතයටත් යන තුන් කාලයටම කැප ගීතයක් යැයි සැලකීම වරදක් නොවන්නේ එය වර්තමානයේ ජීවත් වන මටද අතිශය සමීප ගීතයක් වන බැවිනි.

යුග ගීයක් වන මෙම ගීතයේ සුවිශේෂීත්වය වන්නේ එය සංවාදාත්මක ස්වරූපයක් ගැනීමයි.ගීතයේ කතා නායකයින් දෙදෙනා පෙම්වතුන්‍ ය.ඔවුන් දෙදෙනාම දැනට නගරයේ ජීවත් වන නමුත් තරුණිය ගමක සිට නගරයට පැමිණී අයෙකි. දැන් ඇයට නැවතත් තම ගම රට බලා යාමට කාලය උදා වී ඇත.නමුත් දෙදෙනාගේ ප්‍රේමයට ගම නගරය හරස් වී ඇත. මොවුන් දෙදෙනා සරසවි සිසුන් ලෙසද සිතිය හැකි යැයි මට සිතේ. වසර හතර අවසාන වන මොහොතේ ඔවුන්ට මේ ගැටලුව මතු වනවා විය හැකිය.

                               සඳපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට

                                ගංඟාවක් තරමට සිසිලස බෙදුවයි නුඹ මා හට        

සංවාදය ආරම්භ කරන්නේ තරුණයාය. නගරයට නොපෙනෙන සුන්දර සඳ පානක් ලෙස මේ ගැමි තරුණිය තරුණයාට පෙනෙයි.නගරයට නොදැනෙන ගංගාවේ සිසිලස ලෙස ගෙන එන්නේද ඇයයි.නගරයේ කඨෝර ශබ්ද, අවිවේකිබව , නොසන්සුන්කම නැති කර දමා ඔහුගේ සිතත් කයත් ප්‍රබෝධමත් කරන්නට තරුණිය සමත් වී ඇත.

                            නෙත් දාහක් පසුකර විත් මට හිමි දෙනුවන දුටු විට

                           සඳපානක් වූයේ නුඹ නොවෙදෝ මගේ සිත් අහසට

ගම්මානයේදීත් නගරයේදීත්තරුණියගේ අත ඉල්ලන නෙත් බොහෝය.ඒ නෙත් අතරින් ඇයට හිමි දෙනෙත හමු වන තුරුම ඇය තනිව උන්නාය.තමා සතු නෙත් යුවල ඉතා දුශ්කර ගමනකින් පසුව හමුවීම මෙතෙක් කල් අඳුරු වී තිබුණු ඇගේ අහසක් වැනි පරතෙරක් නැති  සිතට ආලෝකයක් ගෙන ආ සඳපාන නුඹ නොවේදැයි තරුණයාගෙන් විමසයි.

 

                    දූවිලි හුළඟින් පිරුණත් ඉපදුනු නගරේ - මට නුපුරුදු ගමට එන්න බෑ

                                           මේ නගරය අත් හරින්න බෑ

ඔවුන් හමුවීමේ ප්‍රීතිය ප්‍රකාශ කර ගැටලුවට ප්‍රවිශ්ඨ වන්නේ දෙවන කොටසේදීය.

තමා උපන් , හැදී වැඩුන ,හුරු වුණු තමා ගොඩනගා ගත් සියල්ලත් සමඟ මේ නාගරික පරිසරය මා කෙසේ අතාරින්නද? ගමට විත් මා ඊට කෙසේ සූදානම් වන්නද? වැනි පැනයක් තරුණයාගේ සිතේ මතු වෙයි. දූවිල්ලෙන් පිරී ගියත් ගිනියම් සුළඟ හමා ගියත් හුරු පුරුදු පරිසරය අත් හැරීමට ඔහු සූදානම් නැත.එක හෙලාම පවසන්නෙ නගරය අත් හැරීමට නොහැකි බවයි.හිතුවක්කාරී ගති ඇති තරුණයෙකු බවද අපට සැලකිය හැකිය.

                    මගෙ උරුමය රැඳුනෙන් මා ලද ගම් පියසේ - මේ නගරයේ කූඩු වෙන්න බෑ

                                             ගම්මානය අත් හරින්න බෑ

දෙමාපිය සෙවණේ හැදී වැඩුන ඇයට ඔවුන් , පවුලේ අය දමා නගරයේ නැවතීම සිදු කල නොහැකිය.ඇයට උරුම ගම්මානයයි.කූඩු කල කිරිල්ලියක් මෙන් නගරයේ සිටිය නොහැකිය. තරුණයා සේම ඇයද දැඩි තීරණයක එල්බ සිටින අතර ගමෙන් පිට වීමට නොහැකි බව තරයේම පවසයි.

 

 

                                   අප දෙදෙනා මුණ ගැස්වූ මේ මහ නගරේ

                                           අතැර නුඹට ගමට යන්න බෑ

ඔවුන් මුණ ගැස්වූයේ මේ නගරයයි. එදා සිට මේ දක්වා ඔවුන්ගේ මතක ඇත්තේ නගරය සබැඳිවය.මේ නගරය අත් හැර ඔබ කෙසේද ගමට යන්නේ? ඔහු ප්‍රශ්න කරයි.මතුපිටින් එවැන්නක් අසන බව පෙනුනද සැබැවින්ම ඔහු පවසන්නේ නගරය අතහැර ඇයට යා නොහැකි බව නොවේ.ඔහු දමා යා නොහැකි බවයි.

             මගේ සිතින් ඔබ සිතනා මතු යම් දවසේ - මේ නගරය පාළු වෙන්නෙ නෑ

                                     මං තනියෙන් ගමට යන්නෙ නෑ.

තරුණීය තවමත් ඇත්තේ ඇගේ මතයේය. ඇය සිතන ආකාරයටම තරුණයාත් සිතන දිනයක ඇය සමඟ ඔහු ගමට යාමට කැමති වේ යැයි ඇය සිතයි.එදිනට ඔවුන් මුණ ගැසුණු නගරයේ මතක ඇහැරවමින් මනසින් ඔවුන්ට නගරයේ ජීවත් විය හැකිය. ඇය නැවතත් දැඩිවම පවසන්නේ ඔහුත් සමඟ මිස තනිවම ගමට නොයන බවයි.

                      තර්ක කරමින් හේතු පෙන්වා දෙමින් දෙදෙනාම උත්සහ කරන්නේ තමා කැමති ප්‍රදේශයේ තම සහකරු රඳවා ගැනීමටය.නමුත් දෙදෙනාගෙම ඇති මුරන්ඩු හා හිතුවක්කාරී බව නිසා තවමත් තීරණයකට පැමිණ නැත. දෙදෙනාම කොයි මොහොතේ හෝ අනෙකාගේ තීරණය වෙනස් කරන තුරු බලා සිටියි. බොහෝ දෙනාගේ අවධානයට ලක් නොවන ප්‍රේමයක ඇති මෙවැනි ගැටලුකාරී අවස්ථා අප අතර ඕනෑ තරම් ඇත. එවැනි අවස්ථාවකට මුහුණ දෙන තුරු මෙවැනි ගීත බොහෝ දෙනාට සාමාන්‍ය ගීත පමණී.

                         ඉතින් ඇය නගරයේ රැඳුනාද? ඔහු ගමට ගියාද?

 

 

 

 

                  

 

 

 

 

 

Monday, 5 October 2020

උන්ට කවුද හිර දෙන්නෙ?

 




                                                   

             උන්ට කවුද හිර දෙන්නෙ?

 

සාහිත්‍ය ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යක් සටහන් කරනු ලබන මෙන්ම සිංහල යථාර්ථවාදී රීතියේ ප්‍රාරම්භය පල කර ගම්පෙරළිය නවකතාව, හෙළයේ මහා ගත්කරු මාටිං වික්‍රමසිංහයන්ගේ තුන් ඈදුරු නවකථාවන් වන කලියුගය , යුගාන්තය අතරින් එකකි.මෙම නව කතාව දකුණු පළාතේ කොග්ගල නම් ග්‍රාමය පසුබිම් කරගෙන ගෙතුණු කතාවකි.වික්‍රමසිංහයන් ඔහුගේ බොහෝ නවකතාවන් රචනා කොට ඇත්තේ කොග්ගල මුල් බිම කර ගනිමිනි. එයට හේතුව කොග්ගල යනු ඔහුගේ උපන්බිමත් එහිදී ඔහුට ලැබුණු අත්දකීම් ප්‍රමාණය විශාල වීමත් විය හැකිය.

කතාවේ චරිත පිළීබඳ අවධානය යොමු කිරීමේදී එහි චරිත බහුල වශයෙන් අපට සමාජය තුලින්ම හමුවන චරිත බව පෙනී යයි.මාතර හාමිනේ , මුහන්දිරම්, නන්දා, අනුලා , කත්තිරිනා , බලදාස ,ජිනදාස ආදී චරිත අපට ආගන්තුක නොවේ.

ඔවුන් ජීවත් වන පරිසරය ,ජීවන රටා ,චර්‍යා,කුල ගර්වය , වැඩවසම් සමාජය, සිරිත් විරිත්,ගමෙන් නගරයට රැකිය සොයා යන තරුණයන්, ප්‍රකාශිත හා අප්‍රකාශිත ප්‍රේමයේ ස්වභාවය හා ඒ හා සම්බන්ධ මානසික තත්ත්වයන් ආදී සියලු මානයන් ආවරණය වන පරිදි වික්‍රමසිංහයන් විසින් මෙම කතාව ඉතා අපූරු ලෙස නිර්මාණය කර ඇත.

නවකතාවක් තිරයට ගෙන ඒම පහසු නොවේ. නමුත් මාටිං වික්‍රමසිංහයන්ගේ බොහෝමයක් නවකතා තිරය මතට ගෙන ආවේ ආචාර්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසිනි.1944 බිහි වූ ගම්පෙරළිය 1963දී සිනමාවට නැගිණි.නමුත් මුලදී වික්‍රමසිංහයන් මෙයට තම අප්‍රසාදය පල කලේ රෝහිණී නවකතාව චිත්‍රපටයට නැගීම සුදුසු බව පවසමිනි.නමුත් පසුව ගම්පෙරලියට කැමැත්ත ලබා දුන්නේය.

මෙලෙස ගම්පෙරළිය සිනමා පටය,ලෙස්ටර්ගේ අධ්‍යක්ෂණයෙන් , ඇන්ටන් වික්‍රමසිංහගේ නිශ්පාදනයෙන් හා රෙජී සිරිවර්ධනගේ තිර රචනයෙන් බිහි විය.මෙහි ප්‍රධාන චරිත වන නන්දාගේ චරිතය පුණ්‍යා හීන්දෙනියත් පියල් ලෙස හෙන්රි ජයසේනත් ජිනදාස ලෙස ගාමිණී ෆොන්සේකාත් රංගනයෙන් දායක විය. මිනිත්තු 108ක ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටයේ සුවිශේෂි ලක්ෂණයක් වන්න් කිසිදු ගීතයක් ඇතුලත් නොවීමයි. නමුත් සංගීත ඛණ්ඩ කිහිපයක් වාදනය වන අතර එහි නිර්මාණකරු වන්නේ ඩබ්.ඩී අමරදේව ශූරීන්‍ ය.

නවකතාව හා චිත්‍රපට සංසන්දනය කරන විට අපට යම් යම් වෙනස්කම් දක්නට ලැබේ. නවකතාවක් සිනමාවට නැගීමේදි එවැනි වෙනස්කම් සිදු කිරීම සුලබ කරුණක් වුවත් ඒවා නවකතාවට හානි නොවෙන ඒවා යුතුය.නවකතාව ආරම්භ වන්නේ කොග්ගල ග්‍රාමය හැඳින්වීමකින් හා අලුත් අවුරුදු උදාවෙනි. නමුත් චිත්‍රපටය ආරම්භ වන්නෙ වළං කදක් ඔසවාගෙන මහගෙදරට එන මිනිසෙකු හා නන්දා හා පියල් අතර වන සංවාදයකිනි. මෙහිදී නන්දා හා පියල් අතර වන සංවාදය ඉතාමත් වැදගත් වේ. ඒ සංවාදයෙන් චිත්‍රයපටයේ සාරාංශය පිළිබඳ ඉඟියක් ගැබ් කර ඇති බව නවකතාව කියවා චිත්‍රපටය නරඹන්නෙකුට නම් ඉතා හොඳින් වැටහේ.

එම සංවාදය පහත පරිදි වේ.එය නවකතාවෙ නොමැත.

“ඉතින් ඔය කුමාරිකාව අන්තිමට මේ මිනිහා කසාද බැන්දද?”

“ඔව්”

“ඒක නම් වෙන්න බෑ.ඔය නිකන් මිනිහෙක් කොහොමද කුමාරිකාවක් කසාද බඳින්නේ”

“ඇයි බැරි සල්ලි තියෙනවානම් පුලුවනි”

 

                     මේ කතාව ගෙතෙන්නේ වලව් මාන්නය , කුල ගර්වය සමාජය තුළ මුල් බැසගත් කාලයක් හා එය බිඳ හෙලන වාණීජවාදි සමාජය පිළිබඳවත් ය. එය උකහා දැක්වීමට යොදාගෙන ඇත්තේ ඒ තුළ සිරවී සිටිනා තරුණියක් හා තරුණයෙක්  මුහුණ දෙන ගැටලුකාරී අවස්ථාවන් හා තම ප්‍රේමය ජය ගන්නා ආකාරයයි.

චිත්‍රපටයේ ඇති එක් ජවනිකාවක මහගෙදරට වළං ගෙන එන මිනිසාගෙන් මාතර හාමිනේ මෙදා අවුරුදු ජය දැයි විමසූ විට ඔහු ලබා දෙන “අනේ මොන ජයක්ද හාමිනේ.ඇස් වහක් කටවහක් නෑ හාමිනේලට කිරි උතුරන්න ඕනේ” යන්නෙන් එය කෙතරම් වහල්ගැති පිළිතුරක් දැයි ප්‍රේක්ෂකයාට වැටහේ. සිනමාකරුවා උත්සහ දරා ඇත්තේද එකල පැවති වහල්ගැති සමාජය ඉස්මතු කර දැක්වීමට බව සිතිය හැකිය.

පියල් විසින් නන්දාට ගෙන එන ලද විවාහ යෝජනවට නන්දා වැට උඩ සිටින්නාක් මෙන් පිළිතුරක් ලබා දෙන්නෙ තමා ඊට කැමති හෝ අකමැති බව ප්‍රකාශ කිරීමට තරම් ස්වාධීන නොවන බැවිනි.ඒ ඇගේ පවුල් පසුබිම හේතුවෙන් යැයි සිතිය හැකිය.

“අම්මා කැමති නම් මාත් කැමතී”

“ඒ කියන්නෙ නන්දා මට ආදරෙයි”

“මං දන්නෙ නෑ”

උණු හින්දා බොන්නත් බෑ.කිරි හින්දා අහක දාන්නත් බෑ යන ආප්තෝපදේශය මීට මනා සේ ගැලපේ යැයි මට හැඟේ.

කතාවේ හා චිත්‍රපටයේ චරිත පිළිබඳ සොයා බැලීමේදි නන්දාගේ චරිතය අනෙක් චරිතවලට වඩා කැපී පෙනෙයි. කයිසාරුවත්තේ වලව්වේ එක් දියණියක් වන ඇය ඉංග්‍රීසි ඉගෙනගන්නේ පියල් නම් තරුණයෙකුගෙනි. තමාගෙ පවුල් පසුබිම හා දෙමාපියන්ට අකීකරු නොවීම හේතුවෙන් තමාගෙ හිතේ උපන් ප්‍රේමය එසේම යටපත් කරගෙන වෙනත් අයෙකු සමඟ විවාහ වෙයි. නන්දා පියල් ඉදිරියේ තද ගති පැවතුම් ඇත්තියක් ලෙස සිටියද එසේ සිදු කලේ ඇගේ සිතේ සැබෑ හැඟීම් යටපත් කිරීමට විය යුතුය.සැබැවින්ම ඇය මොලොක් ගති පැවතුම් ඇති චරිතයක් බව ජිනදාසගේ විවාහයෙන් පසු හැසිරීමෙන් කිව හැකිය.චිත්‍රපටයේ ඇති චරිත අතරින් ඉතාමත් සංකීර්ණම චරිතය ලෙස නන්දාගෙ චරිතය බව අමුතුවෙන් කිව යුතු නැත. පියල්, ජිනදාස, හා පවුල අතර තැලී පොඩිවෙමින් ජීවිතය ගෙන යන නන්දාගෙ චරිතයට අවශ්‍ය සෑම භාවයක්ම ඉතා මැනවින් හසුරුවමින් පණ පෙවූ පුණ්‍යා හීන්දෙනියගේ රංගනය අති විශිෂ්ටය.

ගමේ සාමාන්‍ය පවුලකට අයත් පියල් උගත්කමින් පරිපූර්ණ වූ තරමක නිවුණූ ගති පැවතුම් ඇති තරුණයෙකි. නන්දාට කරන විවාහ යෝජනාවට අකමැත්ත හිමි වීම නිස ඔහු කොළඹ බලා පිටත්ව යන්නේ රැකියාවක් සොයා ගැනීමෙ අරමුණෙනි. ඔහු නැවත් පැමිණෙන්නේ යහමින් මුදල් හදල් ඇති ව්‍යාපරිකයෙකු වශයෙනි.ඒ පැමිණෙන විටද නන්දා කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටී.ාවසානයේ නන්දා විවාහ කරගන්නා මොහු තුළීන් සැබෑ වාණීඣවාදී මිනිසෙකුගේ චිත්ත අභ්‍යන්තරය පෙන්නුම් කරන්නේ “ජිනදාස භූමදාන කර අවසන් ගෞරව දැක්කුවේ මගේ සල්ලිවලින්” යන වදනිනි. පියල්ගේ ඇඳුම් පැළඳුම් මේ චිත්‍රපටයේදි කැපී පෙනෙයි.කොළඹ යාමට පෙර ඔහු ඇන්ඳේ සරමත් බැනියමත් හා කෝට් එකත් පමණී. නමුත් ඉන් පසුව ඔහු කලිසමත් ටයි පටියත් හා කෝට් එකටත් මාරු වී සිටියි.එමඟින් ඔහු තරමක් මුදල් හදල් සහිත ධනවතෙකු වී ඇති බව පෙන්නුම් කිරීමට සිනමාකරුවා උත්සහ ගෙන ඇත.

ජිනදාසගේ චරිතයට ගාමිණී ෆොන්සේක යොදා ගැනීම වික්‍රමසිංහයන්හේ දැඩි අප්‍රසාදයට හේතු විය.කතාවට අනුව ජිනදාස යනු තරමක් කෙසඟ සිරුරක් සහිත පුද්ගලයෙකි.එසේ වෙද්දී ගාමිණී වැනි උස මහත් ශරීරයක් සහිත අයෙකු මීට යොදා ගැනීම තුළින් ජිනදාස චරිතයට අසාධාරණයක් වේ යැයි ඔහු සිතන්නට ඇත.නමුත් චරිතය නොමරා ඉතා ප්‍රවේශමෙන් රඟ දැක්වීමට ගාමිණී සමත් විය.ජිනදාසගේ සීයා විදානේ ආරච්චි කෙනෙකි.ඔහුගේ පියා විවාහ ලේකම්‍ ය. විවාහ ලේකම්ගේ පියා නොතාරිස් ය. නමුත් ජිනදාස ඉඩම්වලින් ලැබෙන සුලු ආදායමින් පිරිමසාගෙන ජීවත් වන්නෙකි.ඔහුගේ ඇඳුම් පැළඳුම් ද ගැමියෙකුට සමාන වේ. සරමත් බැනියමත් හැඳි ඔහුගේ මුහුණීන් නිතරම හැඟීම් විරහිත බවක් දිස් වේ.විඩාබරය.ඔහු සිනාසෙනු දුටුවේ තම දරුවා උපන් මොහොතේදීය.

ප්‍රකාශිත හා අප්‍රකාශිත ප්‍රේමයේ ස්වභවයත් මෙම චිත්‍රපටය පුරාම පැතිරී යයි. කතාවේ වස්තු බීජය වූ නන්දා පියල් ප්‍රේමය මුලදීම සාර්ථක නොවන්නෙ පන්ති පරතරය හේතුවෙනි.පියල් තම සිතේ නන්දා කෙරෙහි ඇති ප්‍රේමය ප්‍රකාශ කර පිළිතුරක් බලා සිටියි.නන්දා තවමත් වැට උඩය.

                       තම පවුලේ නම්බුව හා කුල ගර්වය නිසා තමාගෙ ප්‍රේමය යටපත් කර ගනී. ඇය පියල්ට ආදරය ප්‍රකාශ නොකලද ඇය පියල්ට ආදරය නොකල බව කිව නොහැකිය.පියල් විසින් ලියූ ලිපි පිළිබඳ මාතර හාමිනේ ඇසූ විට ඇය පවසන්නේ

“ඒවා මං කියෝලා වීසි කෙරුව”

“වීසිකෙරුව”

“ඔව් අල්මාරිය අස්සට” ලෙසය.

ඒවා විසි කිරීමට සත්‍ය වශයෙන්ම ඇයට අවශ්‍ය වූවා නම් අමාරියට දැමීමක් සිදු කලේ ඇයි.චිත්‍රපටයේදි ඇය ඒ ලිපි ගන්නේ ඇඳුම් අතර පිළීවෙලට නමා තිබියදීය.

ජිනදාස නන්දා බැලීමට ආ දිනයේ නන්දාගෙ මුහුණ තමා ආදරය කල පෙම්වතාගෙන් මිදී වෙනත් තරුණයෙකු සමඟ විවාහ වීමට යන තරුණියකගේ හැඟීම් විරහිත බව සිනමාපටයේදි දක්නට ලැබේ.ඔහු ගිය පසුව ඔහුගේ අඩුපාඩු කියමින් මිතුරියන් හා සිනසුන නමුත් ඈ ඔහුගේ රූපයට කැමැත්තක් දැක්වීය.කිසිදු සිනාවකින් තොරව විවාහයේදීද ඈ මලකඳක් සේ සිටියි.නමුත් නන්දා ජිනදාසට වචනයකින් හෝ අඩුපාඩුවක් නොකලාය.සාම්ප්‍රදායික බිරිඳකගේ චරිතය මවයි.ජිනදාසගේ මරණය ඇයට බොහෝ දුකක් ගෙන දුන්නද එය ප්‍රේමයමැයි කිව නොහැකිය.නන්දා හා පියල්ගේ විවාහය මීට හාත්පසින් වෙනස්‍ ය.බටහිර ක්‍රමය සිදු වුණු එම විවාහයට විදේශිකයන්ද සම්බන්ධ වූ අතර පෙර විවාහයේදි ඇගේ තිබූ දුක් මුසු ස්වභාවය වෙනුවට උතුරා යන සතුටක් පෙන්වයි.විවාහ දෙකේදි ඇගේ භාව හා හැඟීම් ප්‍රකාශනයන් වෙනස් වේ.

                             චිත්‍රපටය තුළ බහුල වශයෙන් සංකේත, උපමා, රූපක, ආදිය යොදාගෙන ඇත්තේ විවිධ ජවනික තුළ වූ තත්ත්යන් ගැඹුරින් ප්‍රේක්ෂකයාට දැන්වීමට යැයි සිතිය හැකිය.

තම දරුවා අහිමිව ශෝකයෙන් සිටින විටදී යාබද නිවසක් නැළවිලි ගී ඇසීම

ජිනදාස වෙළදාමට බිබිලේ යන බව පවසන අවස්ථාවෙ නන්දාගෙ සිත තුළ ඇතිවන තිගැස්සම විශාල කුණාටුවක් සමඟ මුසු කිරීම.

කෙසේවෙතත් චිත්‍රපටය අවසානයේදී වික්‍රමසිංහයන්ගේ සිතට නැඟුන සිතුවිල්ල සාර්ථකව ඉස්මතු කරයි.කුල මාන්නය පසෙක දමා නන්දා පියල් විවාහ වීම තුළින් මුලදී සඳහන් කළ වලව්, කුල, පරම්පරා, පන්ති භේදය වීසි කර දැමීමට වාණිජවාදී සමාජයට හැකියාව ඇති බව තහවුරු කරයි.උන්ට කවුද හිර දෙන්නෙ යන පැනය නැගූ මුවින්ම  නන්දාගේ හා පියල්ගේ විවාහය් පිළීබඳ කතා වෙයි.එකී ඉහළ යැයි සම්මත පැලැන්තියක ඛේදනීය තත්ත්වය නන්දා හාඅ අනුලා අතර කතා බහකදී සංකේතානුරූපීව දක්වා ඇත.

ගේ ටිකින් ටික ගරා වැටිලා.වහල සේරම දිරලා.මට වෙලාවකට හිතෙනවා මුලු ගේම හිටපු ගමන් කඩා වැටෙයි කියලා.මාර ගහෙ කොල වැටිලා මැරිලා.

මේ පවසන්නේ සැබැවින්ම මහගෙදරට සිදු වී ඇති දේ නොවේ.තම පරම්පරාවට අත්ව ඇති ඉරණමයි.එය ටිකෙන් ටික නැති වී යයි. කියිම මොහොතක හෝ සම්පූර්ණයෙන් විනාශ වී යා හැකි බවට දැන් විශ්වාසය. කතාව නිමය.පියල් නන්දා එක්විය.දුශ්ටයා ලෙස සැලකිය හැකි ජිනදාස මිය ගියේය. නන්දාගෙ පැලැන්තියේ මාන්නය අඩුවිය.

                            වර්තමාන සමාජය තුළද මෙකී කුල පරම්පරාව හේතු කරගෙන කොපමණ නම් ප්‍රේමවන්තයින් තම වෘතාන්තයට තිත තබා ඇත්ද? උගත්කමට වඩා වැදගත්කම කෙරෙහි හිස ඔබාගෙන සිටිනතාක් සිදුවන්නේ විනාශයට පත්වීමය.උගත්කම තුළීන් වැදගත්කම බිහිවන තැන සාර්ථකත්වය පවති.කෙසේ වුවත් අතීතයේ තරම් වර්තමානයෙ මෙවැනි කුලගොත සෙවීමක් සිදු නොවුනද තවමත් විවාහයකදී උඩරට රදළ, ගොවි, කරාව, ආදී ලෙස කුලගෝත්‍රය සොයනා දෙමාපියන් නැතුවාම නොවේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මහගමසේකරගේ අම්මා

  මහගමසේකරගේ අම්මා අම්මා පිළිබඳව ලියැවුණු පිලිබඳව ලියවුනු කවි, ගීත, නිසදස් අප්‍රමාණ වේ. නමුත් ඒ සියල්ල සුවිශේෂී ගණයට අයත් නොවෙයි. ඒ එම කවි ග...